වෘත්තීය මාර්ගෝපදේශනය – නැටුම් කලා (Dance)


Posted on November 4, 2013  /  0 Comments

(මෙම ලිපිය 2013 පෙබරවාරි -සැප්තැම්බර් කාලය තුල “අද” පත්‍රයේ පලවුන ලිපි මාලාවක් අන්තර්ජාලයට ගෙන ඒමේ අරමුණෙන් පලකෙරේ. මෙය වැඩි දියුණු කිරීම සදහා ඔබගේ අදහස්/ප්‍රශ්න  කරුණාකර කොමෙන්ටුවක් ලෙස එක් කරන්න.  අධ්‍යාපනය හෝ පුහුණුව සදහා ආයතන ලැයිස්තුවක් සදහා http://www.educationforum.lk/higher-education/බලන්න.)

 

කලාත්මක අභිනයක් සදහා  කලාකරුවා විසින් සිය හඬ හෝ ශරීරය යොදාගන්නා කලාවන් අභිවාහ්‍ය කලාවන් (හෝ Performing Arts) ලෙස හැදින්වේ. නැටුම් කලාවන් යනු අභිවාහ්‍ය කලාවන්ගෙන්  එකකි.  සංගීතය හා රංගනය ද අභිවාහ්‍ය කලාවන්ට අයත්ය.

මෙම ලිපියේ අවධානය නැටුම් කලාවට වුවද මෙහි සදහන් වෙන බොහෝ කරුණු සංගීත විෂයට ද අදාළ බවත් මෙහි සඳහන් සෑම ආයතනයකම පාහේ සංගීත පුහුණුව සදහාද අවස්ථා පවතින බව සැලකිය යුතුය. රඟපෑම සහ නාට්‍ය කලාව ගත් කල ඒ  සම්බන්ධ උපාධි පාඨමාලා කිහිපයක් සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් ලබා දේ. මීට අමතරව  අතර ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් විසින් වරින් වර අදාල පාඨමාලා අරඹන බව පෙනුනත් දිගින් දිගට පවතින පාඨමාලාවක් වර්තමානයේ සොයාගැනීම අසීරුය.  දැනට ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීනයන් බොහෝදෙනෙක් අභවප්‍රාප්ත ධම්ම ජාගොඩ විසින් ආරම්භ කරන ලද කලා කේන්ද්‍ර රංග ශිල්ප ශාලිකාව තුලින් බිහිවූ බව පෙනේ.

වෘත්තියක් වශයෙන් නැටුම් හෝ කිසියම් ආකාරයක කලාවක් හැදෑරීමට පෙළඹෙන්නෙකු තුල ඒ සම්බන්ධ කිසියම් සහජ දක්ෂතාවයක් මෙන්ම අතිශය කැපවීමක්ද තිබීම අවශ්‍යය.  එහෙයින්,    නැටුම්  හෝ වෙනත් කලාවක් හැදෑරීමට පෙර තමන් තුල හෝ දරුවන් ඒ සඳහා යොමුකරන්නේ නම් ඒ දරුවන් තුල හඳුනාගතහැකි දක්ෂතාවයක් පවතී ද ඒ සඳහා කැපවීමෙන් ක්‍රියාකළ හැකි ද යන්න සොයාබැලිය යුතුය.

නැටුම්  කලාවේ වෘත්තීය අවස්ථා

වෘත්තීය වශයෙන්ම නැටුම් කලාවේ  සාර්ථකව යෙදෙන කලාකරුවන් බොහොමයක් අද  සිටිති.  වජිරා හා චිත්‍රසේන පරම්පරාව මෙන්ම චන්න හා උපුලි,  බුදවත්ත රංගායතනය  සහ චන්දන වික්‍රමසිංහ වැන්නන් මීට උදාහරණය. නැටුම් කණ්ඩායමකට නැටුම් ශිල්පීන්, නැටුම් රටා පෙළ ගස්වන්නන් (හෝ Choreographers), වේශ නිරූපකයින් හා සංගීතය සපයන හෝ මෙහෙයවන සංගීතඥයින් අවශ්‍ය වේ.

නැටුම් විෂයයට අදාලව රාජ්‍ය අංශයේ වෘත්තීන් සඳහා  රාජ්‍ය නැටුම් කණ්ඩායම, ජාතික තරුණ සේවා සභාවේ නැටුම් කණ්ඩායමට හෝ පළාත්බදව පවතින නැටුම් කණ්ඩායම් වැන්නකට සම්බන්ධවීමේ අවස්ථාව උදාකරගතහැකිය.  ඊට අමතරව මේ යුගයේ වඩාත්ම ජනප්‍රියව පවතින්නේ පෞද්ගලික නැටුම් කණ්ඩායමක් පිහිටුවාගැනීම හෝ එවැනි නැටුම් කණ්ඩායමකට සම්බන්ධව කටයුතු කිරීමයි.

සංගීතයේ සහ නර්තනයේ සුදුසුකම් ලැබූ බොහෝ ශිල්පීන් ඊළඟ පරම්පරාව සඳහා සිය දැනුම බෙදාදීම පිණිස මෙන්ම වෘත්තියක් ලෙස ද සංගීතය හා නැටුම් ඉගැන්වීම සිදුකරති.

පාඨමාලා

සහතික ලබා දෙන මාර්ගයන් ලෙස  සදහා  උපාධි මග, භාත්කන්ඩේ විශ්ව විද්‍යාලයේ විශාරද මාවත, ගුරු පුහුණු විද්‍යා පීඨ සහතිකය , විභාඝ දෙපාර්මේන්තුවේ සහතිකය, ජාතික තරුණ සභා සේවා සුදුසුකම්  හා පෞද්ගලික නැටුම් කණ්ඩායම්  ලබා දෙන සුදුසුකම් විස්තරාත්මකව පහත දැක්වේ.

උපාධි පාඨමාලා

දැනට අඩසියවසකට පමණ පෙර වනතුරුම අනෙකුත් බොහෝ කලාවන් මෙන්ම   නැටුම් කලාව  සම්බන්ධයෙන් ද අපේ රටේ පැවතුනේ අසංවිධිත අධ්‍යාපන ක්‍රමවේදයන්ය.  දැනුම සම්ප්‍රේෂණය වූයේ, පරම්පරාවෙන් පරම්පරාවට, දෙමාපියන් දූ දරු හෝ ගුරු ගෝල සම්බන්ධතාවන් හරහාය.  1953 දී අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලැබූ රජයේ සෞන්දර්ය කලායතනය (ලලිත කලායතනය) පෙරදිග සංගීතය සහ සාම්ප්‍රදායික නැටුම් කලාවන් සංවිධානාත්මකව ඉගැන්වීම ආරම්භ කල ප්‍රථම ආයතනයයි.  මෙම ආයතනය වරින් වර නොයෙකුත් වෙනස්වීම්වලට, බෙදීම්වලට  සහ එකතුකිරීම්වල ලක්වීමෙන් අනතුරුව 1979 දී සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය බවට තත්වය උසස් කරනු ලැබින.

අද වනවිට සෞන්දර්ය විශ්ව විද්‍යාලය විශාල පරාසයක විහිදුනු සංගීතය, රඟපෑම, බෙර වාදන සහ විවිධ දේශීය නැටුම් සම්ප්‍රදායයන් මෙන්ම ඉන්දියානු නැටුම් සම්ප්‍රදායන් ඉගැන්වෙන උපාධි පාඨමාලා මෙහෙයවයි.  මේ හැරුනුවිට, යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ රාමනාදන් ඇකඩමිය, නැගෙනහිර විශ්ව විද්‍යාලයට අනුබද්ධ  ස්වාමි විපුලානන්ද සෞන්දර්ය ආයතනය හා  කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ  යටතේ පවතින ශ්‍රීපාලි පීඨය ද නැටුම් හා සංගීත  විෂයයන් පිළිබඳ උපාධි පාඨමාලා මෙහෙයවති.  මේ සියළු ආයතනයන්හි බඳවාගැනීමේ කටයුතු සිදුකෙරෙන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහාය.  ශ්‍රීපාලි පීඨයට බැඳීමට අපේක්ෂා කරන සිසුනට අවශ්‍ය ලකුනු මට්ටම් ලබාගැනීමට අමතරව කුශලතා තරඟ විභාගයකට මුහුණදී සාමාර්ථය ලැබීම අවශ්‍යතාවයක්වීම විශේෂත්වයකි.

ඉන්දියානු භාත්කන්ඩේ සුදුසුකම්

ශාස්ත්‍රීය සංගීතය සහ නැටුම් විෂයයන් ඉගෙනීම සඳහා ඉන්දියාවට යාම ඒ විෂයයන් හැදෑරීමේ අභිලාෂයෙන් පෙළුනු ශ්‍රී ලාංකිකයින්ගේ එකල සිරිත විය.  ලක්නව්හි පිහිටි භාත්කන්ඩේ සංගීත විද්‍යා පීඨය බොහෝ ශ්‍රී ලාංකික සංගීත සහ නැටුම් ශිල්පීන් වසර ගණනාවක් ගතකරමින් ශිල්ප හැදෑරූ ජනප්‍රියම ස්ථානය විය.

ඉන්දියාවට ගොස් අධ්‍යාපනය ලැබීමෙන් තොරව මෙරට සිටම සංගීත සහ නාට්‍ය දෙඅංශයෙන්ම ඉන්දීය සුදුසුකම් ලැබීමේ හැකියාව දැන් පවතී.  භාත්කන්ඩේ විශ්ව විද්‍යාලයේ විභාග සඳහා අධ්‍යාපනය ලබාදෙන සංගීත සහ නැටුම් පංති එම ක්ෂේත්‍රයන්හි සුදුසුකම් ලැබූ බොහෝ ශිල්පීන් විසින් පවත්වා ගෙන යනු ලබයි.  ඒ හැරුණුවිට භාත්කන්ඩේ විභාගවලට මධ්‍යස්ථාන ලෙස අනුමැතිය ලැබූ කලා අධ්‍යාපන ආයතනය ද පවතී.  භාත්කන්ඩේ වෙතින් එවනු ලබන සංගීත සහ නැටුම් ශිල්පීන් විසින් මෙම ආයතනවලදී විභාග පවත්වනු ලැබේ.

නැටුම් විශාරද සුදුසුකම කරා දිවෙන මෙම විභාගයේ  කොටස් තුනකි.  මේ කොටස් තුන ප්‍රථම, විශාරද පළමුවන කොටස සහ විශාරද දෙවන කොටස ලෙස හැඳින්වේ.

විද්‍යා පීඨ තුලින් නැටුම් ගුරු පුහුණුව

ගුරුවරුන් පුහුණු කිරීමේ විශේෂ කාර්යය සඳහා පිහිටුවා ඇති විද්‍යා පීඨ අතරින් කිහිපයක සංගීතය, නැටුම්, නාට්‍ය වැනි විෂයන් සදහා පුහණුකිරීම් කෙරේ.  සිංහල මාධ්‍ය විද්‍යා පීඨ අතුරින් වයඹ විද්‍යා පීඨයේ සහ දෙමල මාධ්‍ය විද්‍යා පීඨ අතුරින් මඩකලපුව සහ යාපනය විද්‍යා පීඨවල මෙම පාඨමාලා පවතී.

ජාතික නැටුම්/සංගීත සහතිකය

විශ්ව විද්‍යාලයට ඇතුළුවීමෙන් තොරව නැටුම් හෝ සංගීතය සම්බන්ධයෙන් රජයේ සහතිකයක් ලබාගැනීම සඳහා පවතින එකම අවස්ථාව ලෙස දැක්විය හැක්කේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබන ජාතික නැටුම්/සංගීත විභාගයයි.  තම අභිරුචිය පරිදි තෝරාගන්නා නැටුම් හෝ සංගීත කලාව පිළිබඳ අධ්‍යාපනය හෝ හැකියාව හැරුණු කොට අධ්‍යාපන සුදුසුකම් වශයෙන් අවශ්‍යවනුයේ සාමාන්‍ය පෙල විභාගයේදී සිංහල භාෂා විෂයෙන් සමත්වීම පමණකි.  සිංහල භාෂා විෂයයෙන් සාමාර්ථයක් නැති අපේක්ෂකයිනට විභාග දෙපාර්තමේන්තුව  විසින් මෙහිදී සපයනු ලබන විශේෂ සිංහල ප්‍රශ්න  පත්‍රයකට පිළිතුරු සපයා සමත්වීමේ හැකියාව තිබේ.  විභාගයට ඉදිරිපත්වීමේ අවම වයස් සීමාව අවුරුදු 15 කි.

මෙම විභාගය ප්‍රථම, මධ්‍යම සහ අවසාන වශයෙන් කොටස් තුනකින් සමන්විතය.  මේ සෑම කොටසකම න්‍යායික ප්‍රශ්න පත්‍රය සමත්වීමෙන් පසුව ප්‍රායෝගික විභාගයට මුහුණදීමේ අවස්ථාව ලැබේ. සිසුන් සිය විෂයය අධ්‍යාපනය ලබාගත යුත්තේ විභාග දෙපාර්තමේන්තුවෙන් සපයනු ලබන පාඨමාලාවලට අනුකූලව පෞද්ගලික ගුරුවරුන් වෙතිනි.

රජයේ නැටුම් සහ සංගීත ගුරු පත්වීම් සඳහා ගුරු පුහුණු පීඨ සහතිකයට අමතරව සංගීතය සහ නැටුම් උපාධිය  හෝ ජාතික නැටුම්/සංගීත අවසාන සහතිකය සලකා බැලේ.  වාර්ෂිකව මේ විභාග සඳහා  අපේක්ෂකයෝ විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වෙති.  පසුගිය වසරේ 18,000 ක පමණ අපේක්ෂක සංඛ්‍යාවක් ප්‍රථම විභාගය සඳහා ඉදිරිපත්වූ බව විභාග දෙපාර්තමේන්තු දත්ත පෙන්නුම් කරයි.

ජාතික තරුණ සේවා සභා පාඨමාලා

ජාතික තරුණ සේවා සභාවේ තුන් අවුරුදු සංගීත/ නැටුම් ඩිප්ලෝමාව තවත් ජනප්‍රිය පාඨමාලාවකි.  මෙහි අනේවාසික පාඨමාලා මහරගම තරුණ මධ්‍යස්ථානයේදී පැවැත්වෙන අතර නේවාසික පාඨමාලා බෙල්වුඩ් ගම්මානයේදී පැවැත්වේ.  සාමාන්‍ය පෙළ විභාගයේදී නැටුම් හෝ සංගීත විෂයට සම්මාන සාමාර්ථයක් සහ ගණිතය සහ සිංහල විෂයයන්ට සාමාර්ථ සහිත සිසුනට මේ පාඨමාලාව සඳහා අයදුම් කළහැකිය.  මෙහිදී විශේෂ දක්ෂතා දක්වන සිසුනට නම්දැරූ නැටුම් කණ්ඩායමක් වන ජාතික තරුණ සේවා සභාවේ නැටුම් කණ්ඩායමට ඇතුළුවීමේ අවස්ථාව තිබීම විශේෂත්වයකි.

චමින්ද මෙසේ බෙල්වුඩ්හිදී පහත රට නැටුම් ඩිප්ලෝමාව හදාරා සමත්වූ ශිල්පියෙකි.  කුඩා කල සිටම නැටුමෙහි දක්ෂතා දැක්වූ ඔහු දැන් රාජ්‍ය නැටුම් කණ්ඩායමේ ශිල්පියකු වශයෙන් ක්‍රියා කරන අතර නැටුම් නිර්මාණයෙහි මෙන්ම ප්‍රසිද්ධ නැටුම් කණ්ඩායම් සමග වේදිකා නර්තනයෙහි ද යෙදෙයි. 

පෞද්ගලික  නැටුම් අධ්‍යාපන ආයතන

චිත්‍රසේන නැටුම් ආයතනය ප්‍රධාන පුද්ගලික නැටුම් පුහුණු නිකේතන රාශියක් දැන් ඇත.  රුසියානු සංස්කෘතික මධස්ථානය හා බ්‍රිටිෂ් කවුන්සිලය බටහිර මුද්‍රා  නාට්‍යය  පුහුණුව සලසති. රූපවාහිනියේ ආගමනයත් සමගම  ගීත සඳහා නර්තනයන් ඉදිරිපත් කිරීම ජනප්‍රිය අංගයක් බවට පත්වී ඇති හෙයින් රටේ නොයෙක් තැන වෙනත් සම්ප්‍රදායික නොවන නර්තන කණ්ඩායම් බිහිවී තිබේ.  මේවා වෙනත් බටහිර නර්තන ක්‍රමයන් සහ ලතින් අමෙරිකානු නර්තන වැනි ලෝකයේ ජනප්‍රිය නර්තන ශිල්පයන් සදහා පුහුණුව සපයයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

*

*