Year-1 Admission Problem


Posted on June 2, 2009  /  0 Comments

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම ජාතික අර්බුදයක් කළේ කවුද?

අධ්‍යාපන පද්ධතියට අදාළ සැබෑ ගැටලූ වසා ගනිමින් කරලියට ගෙන තිබෙන පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම ජාතික අර්බුදයක් ලෙස හුවා දැක්වීම අප දකින්නේ මිත්‍යාවක් ලෙස යි.  නිදහස් අධ්‍යාපනය රටට හඳුන්වා දී අඩ සියවසකටත් වඩා කල් ගත වී ඇතත්, අධ්‍යාපනයට වගකියන ඇත්තන් මෙම තත්ත්වය වටහා නොගැනීම ජාතියේ අවාසනාවකි.  දේශපාලකයන්ගේ හා නිලධාරින්ගේ සැබෑ වගකීම වන්නේ සමාජ විෂමතා හැකිතාක් අවම කිරීම යි.  නමුත් පළමුවන ශ්‍රේණියේ ගැටලූව අර්බුදයක් දක්වා වර්ධනය වී ඇත්තේ ඔවුන්ට මේ සැබෑ උවමනාව නොමැති නිසා බව පෙනේ.  මෙවැන්නක් නිර්මාණය වීමට පසුබිම සකස් වී ඇත්තේ,

  • අවිද්‍යාත්ම්ක පාසල් වර්ගීකරණය
  • පහසුකම් බෙදීයාමේ අසමතුලිතතාව
  • මානව සම්පත් කළමනාකරණයේ දුබලතා
  • භෞතික සම්පත් බෙදීයාමේ විෂමතා
  • ජාතික ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක නොකිරීම
  • සුදුසුකම් ලත් විදුහල්පතිවරුන් නොමැතිකම
  • අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම්
  • නිලධාරින්ගේ අකාර්යක්ෂමතාව
  • පොදු වැඩපිළිවෙකට යාමේ අකමැත්ත
  • ගැටලූව දෙස දරුවන්ගේ දෘෂ්ටිකෝණයෙන් නොබැලීම
  • ප‍්‍රාදේශීය විෂමතා


ආදී කරුණු හේතුවෙනි.  13 වන අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන ලද්දේ සමාජ අසාධාරණය අවම කොට බලය බෙදාහැරීම සඳහා ය.  ලංකාවේ පාසල් පද්ධතිය සම්බන්ධයෙන් වන පළමු හා ප‍්‍රබල කුල භේදය ඇති කෙළේ මෙම සංශෝධන මගිනි.  සමාජ අසාධාරණයට පිළියම් ලෙස ඉදිරිත් කළ ව්‍යවස්ථා සංශෝධනය මගින් පළමුවරට මෙරටට ජාතික පාසල් සංකල්පය හඳුන්වාදීමෙන් මෙම කුල භේදය ඇති කරන ලදි.

එතැන් පටන් විදුහල්පතිවරු අතර ද, ගුරුවන් අතර ද, දරුවන් අතර ද, දෙමාපියන් හා ආදි සිසුන් අතර ද මෙම කුල භේදය ලිය ළා වැඩුණි.  නිලධාරින්ගේ හා දේශපාලකයන්ගේ ආශිර්වාදය මේ සඳහා නොමඳ ව ලැබුණි.  රේඛීය අමාත්‍යංශය තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට හිතුමතේ ජාතික පාසල්  නම් කළ අතර, මහ ඇමතිවරුන් තමන්ගේ විශාල පාසල් රේඛීය අමාත්‍යංශයේ ඩැහැගැනීමෙන් රැුකගැනීමට නොගත් තැතක් නැත.  ලංකා ඉතිහාසයේ පළමු වතාවට සමහර ජාතික පාසල් විදුහල්පතිවරු හා ගුරුවරු කලාප, කොට්ඨාශ පමණක් නොව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු ද නොසළකා හැරීමේ තත්ත්්වයක් දක්වා තල්ලූ වී යාම කිසිවෙකුටත් නවතාලිය නොහැකි විය.

අනෙක් අතට සම්පත් බෙදීයාමේ අසමතුලිතතාව ද වඩාත් තීව‍්‍ර කිරීමට මෙම ඊනියා ජාතික පාසල් සංකල්පය ඉවහල් විය.  ජාතික පාසලට සියලූම පහසුකම් රේඛීය අමාත්‍යංශය මගින් සැපයුනු අතර, පළාත් සභා පාසල් වලට කුඩම්මාගෙ සැළකිල්ල හිමි විය.  මහ ඇමතිවරුන්ගේ ආශිර්වාදය දිනාගත් පාසල් නවතම කුළ භේදයක් නිර්මාණය කරමින් ජනපි‍්‍රය පාසල් ලෙස වර්ග කෙරිණි.  (වර්තමානයේ දේශපාලකයන් හා නිලධාරින් මෙම ඊනියා වර්ගවාදී වචනය ම යොදා ගනිමින් චක‍්‍රලේඛ පවා නිකුත් කරනු පෙනේ.*

ජාතික මට්ටමේ පහසුකම් සහිත පාසල ජාතික පාසල වූ අතර, පළාත් මට්ටමේ ඉහළ අනුග‍්‍රාහකයන් සහිත පාසල ජනපි‍්‍රය පාසල විය.  මේ දෙවර්ගයට ම දුප්පත් හා නොසළකා හැරීමට ලක් වූ ගම්බද පාසලෙන් වෙන් වී කැපී පෙනීම සඳහා වූ අර්ථපති දායකත්වය සැපයීමෙන් ඉසුරුමත් පාසල් රැුකබලා ගැනීමට සුභපතන්නන් යනුවෙන් කොටසක් ද බිහි විය.  ඊට ම කොටස්කරුවන් ලෙස රට වටා විසිරී සිටින ආදි ශිෂ්‍යයන් ද ඉසුරුමත් පාසල් වල ආරක්ෂාව හා සමෘද්ධිමත්භාවය පතා කඳවුරු බැඳ ගත්හ.  ගම්බද දුප්පතාගේ පාසල ද නාගරික කුඩා පාසල ද ලජ්ජාවෙන් හැකිළී, නැති බැරි කමෙන් මිරිකී, නොසැළකිල්ලෙන් හෙම්බත් වී පද්ධතියෙන් ගිලිහී යාමට පටන් ගත්තේ ය.  දුප්පත්කමින් එතෙරවීමේ එකම මග ලෙස දුප්පතුන් අතර පිළිගැනීමට ලක් වූ අධ්‍යාපනය ලැබීමේ වරප‍්‍රසාදය  මෙම ක‍්‍රමය මගින් තව තවත් ඔවුන්ගෙන් ඈත් කරන ලදි.  අන්ත දුප්පතුන්ගේ දරුවන් අධ්‍යාපනයෙන් හැලී ගිය අතර, පහළ මධ්‍යම පන්තියට අධ්‍යාපනය දරාගත නොහැකි වැය බරක් විය.  ඉහළ මධ්‍යම පන්තිය තම තත්ත්වය රැුකගැනීමට මහත් වෙහෙසක් ගත් අතර, ධනපති සුළුතරය ඉසුරුමත් පාසල් වේගයෙන් ආක‍්‍රමණය කෙළේ ය.  තමන්ගේ දරුවන් සුපිරි පාසලකට ඇතුළත් කරගැනීමට නොහැකි වූ ඉහළ පැළැන්තිය හා මැද පන්තිය ඊට විකල්ප ලෙස  තම ධනය වැය කොට, ප‍්‍රසිද්ධ සුපුරි පාසන්වල ගුරුවරුන් හා දක්ෂ විදුහල්පතිවරුන් (බොහෝ විට විශ‍්‍රාමික* මිලයට ගනිමින් ව්‍යාපාරික පරමාර්ථයෙන් ජාත්‍යන්තර පාසල් පිහිටුවන ලදි.

මෙම තත්වය තුළ නව ආදායම් මාර්ග හා රැුකියා රාශියක් ද බිහි වී තිබේ.   සමාජයේ මෙතෙක් පැවති හර හා වටිනාකම් අතරට අළුත් සංකල්පයක් ද එක් වීය.  ගම්බද පාරම්පරික දේපල විකුණා නගරයේ සුපිරි පාසල් අසල නිවාස හා දේපල මිලයට ගැනීම, විවාහයේ දී සුපිරි පාසල් අසල පදිංචි වූවන් කෙරෙහි වැඩි අවධානය යොමු කිරීම, සුපිරි පාසල් අසල ඉඩකඩම් හා දේපලවලට අධික මිලක් නියමවීම, විවාහයට පෙර සිට ම දරුවන්ට සුදුසු පාසලක් සෙවීම, කූට ලේඛන සකස් කිරීම රැුකියාවක් ලෙස හා අමතර ආදායම් මාර්ගයක් ලෙස පිළිගැනීම, තමන්ගේ ළමුන් අනුන්ගේ දරුවන් ලෙස කුළවැද්දීම, කෙතරම් අනතුරුදායක වුවත් ජාතික හා ජනපි‍්‍රය පාසල් වලට තම දරුවන් ඇතුළත් කරගැනීම සඳහා විවිධ රැුකියාවන් තෝරා ගැනීම, අතීත සමාජය විසින් පිළිකුල් සහගත ලෙස ප‍්‍රතික්ෂේප කරන  ලද මුදල්, දේපල හා ශරීර මාංශ අල්ලස පාසල් වලට දරුවන් ඇතුළත් කරවා ගැනීමේ උපක‍්‍රම ලෙස භාවිතා කිරිම ආදී වශයෙන් වූ නව සංස්කෘතියක් මෙම ක‍්‍රමය තුළින් සමාජයේ ප‍්‍රතිශ්ඨාපනය කරන ලදි.  මෙයට හොඳ ම නිදසුන නම්, මෑතක දී ප‍්‍රසිද්ධියට පත් කළ අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිෂන් සභා වාර්තාවකට අනුව වැඩි ම අල්ලස්කරුවන් පිරිසක් සිටින්නේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ බව ප‍්‍රකාශයට පත්වීම ය.!

කල්යත් ම පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ තරගයෙන් පහළ මධ්‍යම පන්තිය විසි වී ගිය අතර, පන්ති වෛරය දරුවන්ගේ හදවත් තුළ ද දල්වමින් සුපිරි පාසල් සිහිනය පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණය දක්වා කල් දැමීමට ඔවුන්ට සිදු වීය.  මේ  තුළින් පෙර නොවූ විරූ ඉල්ලූමක් එම පරීක්ෂණයට ඇති වීමෙන් දරුවා නොසළකා හැර දෙමාපිය තරගය දෙස  බලා ප‍්‍රශ්න පත‍්‍ර සකස් කිරීමේ තත්ත්වය දක්වා ම මෙය වර්ධනය වීය.  මීට හොඳ ම නිදසුන 2008 වසරේ ශිෂ්‍යත්ව පරීක්ෂණ ප‍්‍රශ්න පත‍්‍රය යි.  (මෙය වෙනම සාකච්ඡුා කළ යුතු ගැටළුවකි.*

සමස්ත අධ්‍යාපන පද්ධතියට ම නීතියක් නොමැති හෙයින් පළමු  ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම දිගින් දිගටම ම සිදු කළේ චක‍්‍රලේඛ මගිනි.  අධ්‍යාපන විද්‍යාත්මක පසුබිම, දරුවාගේ කායික මානසික අවශ්‍යතා, දෙමාපියන්ගේ පහසුව, සැමට අධ්‍යාපනයක් ලැබීමේ මූලික අයිතිය ආදී සියලූ කාරණා ද, තමන්ට ජනතාව වෙනුවෙන් පැවරී ඇති රාජකාරිමය වගකීම ද අමතක කළ කලින් කල පහළ වූ නිලධාරින් හා දේශපාලකයන් අත්තනෝමතික රෙගුලාසි පනවමින් මෙම චක‍්‍රලේඛ සකස් කළහ.  වාර්ෂිකව මෙම චක‍්‍රලේඛ නිකුත් කිරීම අමාත්‍යංශයේ  ප‍්‍රමුඛ කාර්යයක් වූ අතර, ඒ සඳහා එක් චක‍්‍රලේඛයක් සකස් කර ගැනීමට වසර විස්සක් ගතවීත් අමාත්‍යංශයට නොහැකි විය.!  2007 චක‍්‍රලේඛය පුස්තකයක් වූ අතර, නිකුත් කිරීමෙන් අනතුරුව මාස දෙකක් ඇතුළත වාර කිහිපයක දීම සංශෝධනය කරන ලදි.  අවසානයේ දී ද එය නිකුත් කරන ලද්දේ පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම සඳහා වන ජාතික ප‍්‍රතිපත්තිය ලෙස දක්වමිනි.  (එකී චක‍්‍රලේඛයට අනුව අමාත්‍යංශය ජාතික ප‍්‍රතිපත්ති සකස් කිරීමට ද අත ගසා තිබේ.!* විවිධ පුද්ගල කණ්ඩායම් සහ රැුකියාවන් සඳහා පළමු ශ්‍රේණියේ ඉඩකඩ ප‍්‍රතිශතය වෙන් කළ අතර, ඒවායේ තිබූ පරස්පරතා, අසාධාරණ හා පුද්ගලික අභිමතාර්ථ හා මානව අයිතීන් අභිබවා යාම හේතුවෙන් ඉතිහාසයේ ප‍්‍රථමවරට ශ්‍රේෂ්ඨාධිකරණය මූලික වී 2007 වසරේ පළමු වසරට සිසුන් ඇතුළත් කරගැනීමේ චක‍්‍රලේඛය සකස් කෙරිණි.

තත්ත්වය මෙසේ වීමෙන් පළමු වසරට සිසුන් ගැනීම ජාතික අර්බුදයක් සේ හුවා දක්වන්නට බොහෝ අය පෙළැඹුණු අතර, ජනමාධ්‍ය විසින් පළමු වසරට සිසුන් ගැනීම පුවත් මවන යන්තරයක් බවට පත් කරන ලදි.  නමුත්, දේශපාලන යාන්ත‍්‍රණය දශක තුනක් තිස්සේ මෙම ශෝචනීය තත්ත්වයට බල පා ඇති පසුබිම් කරුණු වලට විසඳුම් ලබාදීම වෙනුවට කළේ ගැටළුව උග‍්‍ර සමාජ ප‍්‍රශ්නයක් බවට පත් කිරීම යි.  තමන්ට අවනත නොවන විදුහල්පතිවරුන්, අධ්‍යක්ෂවරුන්, ගුරුවරුන් වෙනුවට වෙනත් අය පත් කිරීම ද, පාසල් සංවර්ධන සමිති, ආදි ශිෂ්‍ය සංගම් හරහා තම අභිලාෂයන් ඉටු කරවා ගැනීම ද, දක්වා මෙකී තත්ත්වයන් වර්ධනය වීය.   නාගරික සුපිරි පාසල් මෙසේ පිම්බෙද්දී ග‍්‍රාමීය කුඩා පාසල් හැකිලී පද්ධතියෙන් වියැකී ගියේ ය.  ඒවායේ් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් අදක්ෂ. අකාර්යක්ෂම හා පසුගාමී තත්ත්වයට ඇද වැටුණි.  දරුවාගේ අත්‍යවශ්‍ය මූලික සැපයුම් වන, පානීය ජලය, වැසිකිලි, පෙළපොත පවා නොලැබී යාමෙන් ඒවා අන්ත අසරණයන්ගේ නවාතැන් බවට පත් වීය.

ග‍්‍රාමීය  කුඩා පාසල් වැසී යන්නේ  යැයි හඬ තලන නිලධාරින් හා දේශපාලකයන් එහි සැබෑ තත්ත්වය නොදකිති.  ගමේ පාසලට කුඩම්මාගේ සැළකිලි  දක්වමින් කිඹුල් කඳුළු හෙළති.  ජනපි‍්‍රය පාසලේ සමාන්තර පන්ති වැඩි කරන විට අවට ඇති කුඩා පාසල් වැසී
යන බව වත් ඔවුහු නොදකිති.  වනය දකින ගස් නොදකින මෙම පුද්ගලයන් නිසා පළමු ශ්‍රේ්ණියට සිසුන් ගැනීම ජාතික අර්බුදයක් වීම වැළැක්විය නොහැකි ය.

ජන ඝණත්වය අනුව පාසල්වල සමාන්තර පන්ති තීරණය වන්නේ නම් කොලඹ නගර මධ්‍යයේ පිහිටි සමහර සුපිරි පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා පන්තියක් පැවැත්වීම ද දුෂ්කර වනු ඇත.  එබැවිනි, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නව පාසල් වර්ගීකරණයක් කළයුතු බවට 2007 වසරේ දී යෝජනා කරන ලද්දේ.  ඒ අනුව, ප‍්‍රාථමික පාසල උසස් පාසලෙන් වෙන් කළ යුතු අතර, හයවන ශ්‍රේණියෙන් ද්විතීයික පාසල ඇරඹේ.  ප‍්‍රාථමික අධ්‍යපනය මිශ‍්‍ර විය යුතු අතර, එය වෙන ම විදුහල්පතිවරයෙකු යටතේ පාලනය විය යුතු  ය.  එවැනි ප‍්‍රගතිශීලි ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක කිරීමට නම්, ආත්ම ශක්තියක් හා ධෛර්යයක් සහිත දේශපාලකයන් හා නිලධාරින් පද්ධතියට අවශ්‍ය ය.  එවැනි දැඩි තීරණයකින් පමණි, මෙම ප්‍රෝඩාව ජයගත හැක්කේ.

මෙහි ඇති මිථ්‍යාව පැහැදිළි කරගැනීම පිණිස 2008 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම පිණිස බස්නාහිර පළාතේ ප‍්‍රසිද්ධ හා ජනපි‍්‍රය පාසල් කිහිපයකට ලැබුණු අයදුම්පත් ප‍්‍රමාණයන් හා පාසලේ ඇති සමාන්තර පන්ති ප‍්‍රමාණය පහත දක්වමු.

පාසලේ නම අයදුම්පත් ප‍්‍රමාණය    සමාන්තර පන්ති ඇතුළත්කරගත් ප‍්‍රමාණය
ඞී.එස්.සේනානායක ම.වි., කොළඹ    2980      7    280
ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය            2343      6    240
ආනන්ද විද්‍යාලය, කොළඹ                    2196      6    240
අනුලා විද්‍යාලය, නුගේගොඩ            1906      6    240
නාලන්දා විද්‍යාලය, කොළඹ            1803      5    200
විශාඛා විද්‍යාලය, කොළඹ                    1788      5    200
කොළඹ රාජකීය විද්‍යාලය                    1750  10    400
සංඝමිත්තා බා.ම.වි., කොළඹ 10            1520      7    280
සිරිමාවෝ බණ්ඩාරනායක ම. වි.            1406      4    160
තක්ෂිලා ප‍්‍රාථමික විද්‍යාලය, හොරණ    1322      9    360
තර්ස්ටන් විද්‍යාලය, කොළඹ            1200      3    120
වේල්ස් කුමර විදුහල, මොරටුව            1097      6    240
සමුද්‍රදේවි බා.ම.වි., නුගේගොඩ            1020      5    200
මහනාම විද්‍යාලය, කොළඹ                    848      5    200
මුස්ලිම් කාන්තා විද්‍යාලය, කොළඹ    596      5    200
කළුතර බාලිකා මහ විද්‍යාලය            592      5    200
හින්දු විද්‍යාලය, කොළඹ                    528      6    240
ලින්ඞ්සේ බාලිකා , කොළඹ            376      3    120
රාමනාදන් හින්දු කාන්තා වි., කොළඹ    304      3    120
ඉහත සංඛ්‍යා ලේඛන ස්වල්යෙන් පෙනේනේ කොළඹ ජන ඝණත්වයේ සැබෑ ස්වරූපය ද?  මෙහි දැක්වෙන සමහර පාසල් අවට ඇත්තේ කී‍්‍රඩාංගණ, රජයේ ගොඩනැගිලි, පොලිස් ස්ථාන, විශ්ව විද්‍යාල, කර්මාන්ත ශාලා, උද්‍යාන හා වෙළඳසැල් ආදිය යි.  නමුත් ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාවෙන් පෙනෙන්නේ ලංකාවේ වැඩි ම සාඵල්‍යතා අනුපාතය ඇත්තේ කොළඹ නගර මධ්‍යයේ බව ය.  පුදුමය නම් සෑම වසරක ම පාහේ මෙම බොහෝ නිවැසියන් අදාළ පාසලේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරවීම යි.

ඉහත සංඛ්‍යා ලේඛනයේ ඇතුළත් කරවාගත් ප‍්‍රමාණය ලෙස දක්වා ඇත්තේ පන්තියකට ළමුන් 40 බැගින් ගතයුතු ය යන අමාත්‍යංශ නියෝගයට අනුව ගණනය කරන ලද ප‍්‍රමාණය යි.  නමුත්, ලේඛනයේ ඇති පාසල් දෙකක හැර අනෙකුත් සියලූ පාසල් වල එක් පන්තියක ළමුන් 50 කට ආසන්න සංඛ්‍යාවක් සිටිති.  ඒ, බලධාරින්ගේ හා දේශපාලනඥයින්ගේ ලිපි වලට පින්සිදු වන්නට ය.!

මෙයින් පෙනීයන්නේ ලංකාවේ පාසල් ප්දධතියට බරවා රෝග ලක්ෂණ පහළ වී ඇති බව නොවේ ද?  ඉදිමුණු බරවා කකුල දේශපාලකයන්ට  හා නිලධාරින්ට පෙනී ඇත්තේ පෝෂණය නිසා මහත් වු කකුලක් ලෙස ය.  අනෙක් අවයව වල දුබලතාව ඔවුන් දකින්නේ දෙමාපියන්ගේ වරදක් ලෙස මිස ඔවුන්ගේ හෝ සමාජ අසාධාරණයේ කොටසක් ලෙස නොවේ.

මෙම අසාධාරණ හා අතාත්වික සවභාවය නිසා පාසල් පද්ධතිය ක‍්‍රම ක‍්‍රමයෙන් සෑම අතින් ම පිරිහෙමින් පවතින බව සමාජයට නොරහසකි.  එය රහසක් වන්නේ දෑස නොපෙනෙන නිලධාරින්ට හා දේශපාලකයන්ට පමණි.  මෙම තත්ත්වයට වහා වහා පිළියම් නොයෙදුව හොත්, 1991 එළි දැක්වූ තරුණයන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන ඊළඟ කැරැුල්ලට මුහුණදීමට අපට සිදුවනු ඇත.  එසේ නොවීමට නම්, ගැටළු දකින දේශපාලකයන්, නිලධාරින් වෙනුවට ගැටළු දෙස බලන, ඒවා විශ්ලේෂණය කොට තාර්කික විසඳුම් යෝජනා කරන දේශපාලකයන් හා නිලධාරින් රටට අත්‍යාවශ්‍ය ය.  පැළැඳ සිටින විවිධ පාට කණ්නාඩි ඉවත ලා පද්ධතිය දෙස සංවර්ධනාත්මකව විමර්ෂණාක්ෂිය යොමු කළ හැකි එවැනි මානව හිතවාදී සත්පුරුෂයන් හෙට දවසේ බිහිවන දරුවන්ගේ අනාගතය යහපත් කරනු ඇත.  කුංකුණාවේ හිමියන්ගේ සුප‍්‍රසිද්ධ කවියක කොටසකින් මෙම ලිපිය අවසන් කිරීම යෙහෙකැයි මට සිතේ.

අනේ කූඹින්නේ  –  තොපටත් රජෙක් ඉන්නේ
අපට නැත ඉන්නේ  –  ඒ නිසාවෙනි අප තැවෙන්නේ

එස්.එම්.ආරියරත්න ද අල්විස්,
සහකාර ලේකම්,
ජාතික අධ්‍යපන කොමිෂන් සභාව.

(මෙම ලිපියේ අන්තර්ගතය ලේඛකයාගේ පුද්ගලික අදහස් වන අතර, ඒවා කිසිසේත් ම ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ අදහස් නොවන බව සැළකිය යුතු ය.*

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

*

*