වෘත්තීය මාර්ගෝපදේශනය – බැංකු සහ මූල්‍ය සේවා (Banking and Finance)


Posted on October 30, 2013  /  0 Comments

(මෙම ලිපිය 2013 පෙබරවාරි -සැප්තැම්බර් කාලය තුල “අද” පත්‍රයේ පලවුන ලිපි මාලාවක් අන්තර්ජාලයට ගෙන ඒමේ අරමුණෙන් පලකෙරේ. මෙය වැඩි දියුණු කිරීම සදහා ඔබගේ අදහස්/ප්‍රශ්න  කරුණාකර කොමෙන්ටුවක් ලෙස එක් කරන්න.  අධ්‍යාපනය හෝ පුහුණුව සදහා ආයතන ලැයිස්තුවක් සදහා http://www.educationforum.lk/higher-education/බලන්න.)

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශය නියාමනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව (Central Bank) සහ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (Securities & Exchange Commission of Sri Lanka) විසිනි.  වාණිජ බැංකු, මූල්‍ය සමාගම්, කල්බදු සමාගම්, විශ්‍රාම වැටුප් හා අර්ථසාධක අරමුදල් කළමනාකරුවන්, රක්ෂණ සමාගම් සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් උපදේශන ලබාදෙන පෞද්ගලික උපදේශක සමාගම් (Commercial Banks, Finance Companies, Leasing Companies, Pensions and Provident Fund Managers, Insurance Companies, Financial Consulting Services) ආදියෙන් සෙසු මූල්‍ය අංශය සමන්විත වේ.

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ පවතින වෘත්තීය අවස්ථා මොනවා ද?

සෙසු මූල්‍ය ආයතන වලට වඩා වාණිජ බැංකු ආයතන ශාඛා ලෙස රට පුරා පැතිර පවතින නිසා ජනතාව අතර වඩාත් ප්‍රචලිතය.  2011 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව රටපුරා විහිදී ඇති සියළුම වාණිජ බැංකු ශාඛා සංඛ්‍යාව 5171 කි.  බැංකුවල, එදිනෙදා මහජනතාව සමග සම්බන්ධ වෙන  පුද්ගලයින් වන්නේ බැංකු කළමනාකරුවන් (Bank Managers), බැංකු සහකාරවරුන් (Assistant Bank Managers) හා  සම්බන්ධතා කළමනාකරුවන් (Customer Relations Personnel or Tellers) සහ  වැනි තනතුරු දරන්නවුන්ය.  මූල්‍ය සහ ආයෝජන විශ්ලේෂක (Finance or Investment Analysts) සහ අවදානම් කළමනාකරු (Risk Manager) තනතුරු යනාදිය බැංකු ක්ෂේත්‍රයේ  පවතින්නේ අඩු සංඛ්‍යාවකි. ඉස්ලාමීය බැංකු සේවය (Islamic Banking) හා ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු සේවා (Micro Finance) තුලින්ද රකිට අවස්ථා විවර වී ඇත.

ෆයිනෑන්ස් සමාගම් ලෙස හැඳින්වෙන මූල්‍ය සමාගම්, කල්බදු සමාගම්, විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක අරමුදල් කළමනාකාර සමාගම්, සහ කොටස් තැරැව්කාර සමාගම් සදහා  මූල්‍ය සහ ආයෝජන විශ්ලේෂක සහ අවදානම් කළමනාකරු තනතුරු වැඩියෙන් අවශ්‍ය වේ.

බැංකු හා මූල්‍ය සේවා වෘත්තියක් ඇරඹිය යුත්තේ කොතැනින් ද?

පාසල් අධ්‍යාපනය නිමකරන්නවුන් සහ විශ්ව විද්‍යාල උපාධිධාරීන් වෙනත් සුදුසුකම්වලින් තොරව බඳවා ගැනීම මෑතක් වනතුරු බැංකු ක්ෂේත්‍රයේ සාමාන්‍ය පිළිවෙත විය.  රැකියාවේ ලබන පුහුණුවට අමතරව  බැංකු ක්ෂේත්‍රය හා කළමනාකරණය පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය ලබමින් වෘත්තීය ජීවිතයේ ඉහලට ගමන්කිරීමට එවකට ඔවුනට හැකිවිය.  නමුත් දැන් දැන් බැංකුවල මූලික රැකියාවලට ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ මූලික සුදුසුකමක් බලාපොරොත්තු වීමේ  ප්‍රවනතාවක් පවතී.  මූල්‍ය විශ්ලේෂක සහ අවදානම් විශ්ලේෂක වැනි වැඩි විශ්ලේෂණ හැකියාවක් අවශ්‍යවන රැකියා සඳහා විශේෂිත උපාධි හෝ ගණකාධිකරන වෘත්තීය සුදුසුකම් වැනි වඩා උසස් අධ්‍යාපන සුදුසුකම් ලබාගැනීමට අවශ්‍යය.

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නේ කෙසේ ද? 

බැංකු හෝ මූල්‍ය ක්ෂේත්‍රය සිය ජීවන වෘත්තිය වශයෙන් තෝරාගන්නා කෙනෙකුට ඉදිරියට ගමන්කිරීමේ වෘත්තීය හිනිපෙල රැසක් මෙන්ම ඒ සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රම ගණනාවක් ද පවතී.

 බැංකු කටයුතු  (Banking)

 ඉන්දීය විශ්ව විද්‍යාලයකින් වාණිජවේදී උපාධිය ලැබූ නිර්මලා නැවත සියරට පැමිණීමෙන් පසුව දේශීය බැංකුවකට සම්බන්ධ වූවාය.  මේ වනවිට එම බැංකුවේ ජ්‍යෙෂඨ අධ්‍යක්ෂ තනතුරක් දක්වා ඉහලට ගමන්කිරීමට ඇයට හැකියාව ලැබී ඇත.  නමුත් සෑම කෙනෙකුටම පටන් ගැන්මේදී උපාධියක් අවශ්‍ය නැත.  බැංකු ක්ෂේත්‍රයේ මූලික රැකියාවකින් පටන් ගෙන  රැකියාව කරන අතරම ඒ සඳහා අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව තිබේ.

 විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරූ උදාර මෙයට කදිම උදාහරණයකි. පාසල් අධ්‍යාපනය නිමකිරීමෙන් පසුව ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ බැංකු හා මූල්‍ය කටයුතු පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාවට (CBF) එක්වූ උදාරට ඒ අතරම කුඩා මූල්‍ය සමාගමක රැකියාවක් ලබාගැනීමට ද හැකිවිය.  සහතික පත්‍ර පාඨමාලාව නිම කිරීමෙන් අනතුරුව දැන් බැංකුකරුවන්ගේ ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලාව (DBF) හදාරන  උදාරගේ අපේක්ෂාව ඩිප්ලෝමාව  නිමවීමෙන් පසුව බැංකු සහකාරවරයකු වශයෙන් බැංකුවකට සම්බන්ධවීමයි.  රැකියාව අතරතුර කළමනාකරනය සහ මූල්‍ය කටයුතු පිළිබඳව උපාධියක් ලබා අනාගතයේදී බැංකු කළමනාකරුවකු බවට පත්වීම ඔහුගේ ඊළඟ අපේක්ෂාවයි.   බැංකු ක්ෂේත්‍රයේ වෙනත් අය සිය ඉදිරි අධ්‍යාපනය සඳහා අවශ්‍යතාවය අනුව ගණකාධිකරණය, කළමනාකරන ගණකාධිකරණය හෝ අලෙවිකරණය වැනි වෙනත් පාඨමාලා තොර ගනු ඇත.

 මූල්‍ය විශ්ලේෂණය (Financial Analysis)

දිමුතු, මෑතකදී තවත් කිහිප දෙනෙකු සමග එක්වී ආයෝජන සමාගමක් පිහිටුවා ගත්තේය.  ඔහු එම සමාගමේ මූල්‍ය විශ්ලේෂකයකු ලෙස මෙන්ම ආයෝජන උපදේශකයකු ලෙස ද කටයුතු කරයි.  පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සංඛ්‍යානනය සහ පරිගණක විද්‍යාව උපාධිය හදාරන කාලයේදී දිමුතුගේ අපේක්ෂාව වූයේ කෙදිනක හෝ සමාගමක ප්‍රධාන මූල්‍ය නිලධාරියා වීමටයි.  නමුත් අද තමන්ගේම සමාගමක් මෙහෙයවන ඔහු එකල බලාපොරොත්තු වූවාටත් වඩා දුරක් ගමන් කරන්නට සමත්වී ඇත.  තමා සතු ගණිතමය දැනුම සහ පරිගණක නිපුණතාවය මූල්‍ය ක්ෂේත්‍රයේදී සිය තරඟකරුවන්ට වඩා කැපී පෙනෙන්නට තමාට උපකාරී වූ බව ඔහුගේ විශ්වාසයයි.  දිමුතු පවසන අන්දමට මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියාවල ඉහල ඉපයීම් ශක්තියක් ඇත .  එමෙන්ම ප්‍රාග්ධන වෙළඳපල තවදුරටත් පුළුල් හා කාර්යක්ෂම වුවහොත් එම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් වැඩිවනු ඇතැයි ද ඔහු පවසයි.

CIMA හෙවත් කළමනාකරන ගණකාධිකාරිවරුන්ගේ වරලත් ආයතනයේ අවසාන විභාගය සමත්වීම හෝ ව්‍යාපාර කළමනාකරනය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධියක් ලබාගැනීම හරහා මූල්‍ය අංශයේ ඉදිරියට යාමට අවශ්‍ය වැඩි දුර දැනුම  සපයාගත හැක.

CFA නමින් හැඳින්වෙන වරලත් මූල්‍ය විශ්ලේෂක සුදුසුකම හා FRM නමින් හැඳින්වෙන මූල්‍ය අවදානම් කළමනාකරන සුදුසුකම යනු  මූල්‍ය අංශය ඉලක්ක කරගත් රැකියාවන් සදහා වැඩ ඉහල  මට්ටමේ සුදුසු කම් වේ.  මේවා  ලබාගැනීමට පෙර ප්‍රථම උපාධියක් හෝ ඊට සමාන වෘත්තීය සුදුසුකමක් ලබා තිබීම සාමාන්‍යයෙන් අවශ්‍ය වේ.   බ්‍රිතාන්‍යයේ “ IfS School of Finance” ආයතනය විසින් ද ජාත්‍යන්තරව ඉහල පිළිගැනීමක් ඇති විවිධ වෘත්තීය සුදුසුකම් ලබාදෙන නමුත් ඒ සඳහා පාඨමාලා පවත්වන ආයතන ශ්‍රී ලංකාවේ නොමැත.

ආයෝජන සහ සුරැකුම්පත් (Investments & Securities)

ආයෝජන සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් වැඩිදුරටත් පුහුණුව සහ සහතික ලබාදෙන ආයතන අතර පෙරමුණ ගනුයේ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (Securities and Exchange Commission of Sri Lanka) සහ සුරැකුම්පත් සහ ආයෝජන පිළිබඳ වරලත් ආයතනයයි (CISI).  සාමාන්‍යයෙන් මෙම සුදුසුකම් ලබාගැනීම සඳහා යොමු වන්නේ සිය වෘත්තීය දියුණුව සහ රැකියාභිවෘද්ධිය බලාපොරොත්තු වන කළමනාකරුවන් හා ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්ය.

අවදානම් කළමනාකරනය (Risk Management)

ව්‍යාපාරයකට  බලපාන  අවදානම් හඳුනාගැනීමත් ඒවා කළමනාකරනය කිරීම සහ අවමකිරීමත් ඕනෑම ව්‍යාපාරයකට  ඉතාමත්ම වැදගත් වේ.  ආයතනයක තිරසාරවූ  සංවර්ධනයක් සදහා  ආර්ථික, සාමාජික හා පාරිසරික යන කරුණු ඇතුලත් ත්‍රිපාදක යටි ඉර  (triple bottom line) දෘෂ්ටිකෝණයක් ඇතිව ක්‍රියාත්මක වීම අවදානම් කළමනාකරුවකු සතු වගකීමකි.  මූල්‍ය අවදානම් කළමනාකරු සුදුසුකම මෙවැනි වගකීමක් දැරීම් සඳහා අවශ්‍ය නිපුණතා ලබා දේ. එම සුදුසුකම දැනට දුරස්ථ අධ්‍යාපනය තුලින් පිරිනමනුයේ බ්‍රිතානයයේ ග්ලෝබල් ඇසෝසියේසන් ඔෆ් රිස්ක් ප්‍රොෆෙෂනල් (GARP) ආයතනය විසිනි.

 ඉස්ලාමීය බැංකු කටයුතු (Islamic Banking)

 ඉස්ලාමීය බැංකුකරණය පිළිබඳ සුදුසුකම් සපයනු ලබන්නේ සුරැකුම්පත් සහ ආයෝජන පිළිබඳ වරලත් ආයතනය සහ ඉස්ලාමීය බැංකුකරණය සහ රක්ෂණ ආයතනය විසිනි.  මේ දෙකම බ්‍රිතාන්‍ය ආයතනයි.

ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු (Micro- Finance)

ලාබ ලබන හා ලාබ නොලබන යන   වර්ග දෙකක් ලෙස ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවේ.  මේ ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන පිලිබඳ  සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයින්ගේ සංගමය විසිනි.  බ්‍රැක් ලංකා සහ සණස වැනි ලාභ සඳහා නොවන ආයතන මෙන්ම ලාභ සඳහා කටයුතු කරන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ද මෙහි සාමාජිකත්වය දරති.  ක්ෂුද්‍ර මූල්‍ය සම්බන්ධ පුහුණු වැඩසටහන් පොල්ගොල්ලේ පිහිටි ජාතික සමුපකාර සංවර්ධන ආයතනය මගින් සහ ශ්‍රී ලංකා පදනම මගින් මෙහෙයවනු ලබයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

*

*